Networking වලදී අපිට කතා කරන්න වෙන ප්‍රධාන දෙයක් තමයි මේ Simplex, Half Duplex සහ Full Duplex කියන communication channels තුන.
මේ කියන communication channels භාවිතා කරන්නේ තොරතුරු ප්‍රවාහනය කරන්න, එහෙමත් නැතිනම් තොරතුරු ගෙන යන්න තිබෙන ක්රමයන් 3ක් යනුවෙන් හැඳින්වූවොත් නිවැරදියි.
[upl-image-preview url=https://community.technews.lk/assets/files/2019-04-13/1555174898-739388-simplex-vs-duplex-tech-news-lk-community.jpeg]
ඒ වගේම මේ communication channel එකක් Cable එකක් වගේ (physical) භෞතික මාධ්‍යයක් වෙන්නත් පුලුවන්, එහෙමත් නැතිනම් circuit එකක් හරහා switch කරනු ලබන logical connection එකක් වෙන්නත් පුළුවන්.
මොකක්ද මේ Simplex කියන්නේ?
මේ Simplex කියන communication channel එකකදී අපිට දත්ත සම්ප්‍රේෂණය කිරිමට හැකියාව තිබෙන්නේ එක් දිශාවකට පමණයි. උදාහරණයක් විදිහට Radio station එකකින් නිකුත් කරන radio signals transmitter එකක් හරහා ගිහින් ඔවුන්ගේ අසන්නන්ගේ radio උපකරණ වලින් ග්‍රහණය කරගන්නවා වුවත්, නැවත එම radio උපකරණය හරහා radio station එකට පණිවිඩයක් යැවීමේ හැකියාවක් නොලැබෙන බව ඔබ පැහැදිලිව දන්නවා ඇති.
[upl-image-preview url=https://community.technews.lk/assets/files/2019-04-13/1555168844-872339-simplex-tech-news-lk-community.gif]
මෙහිදී Simplex යනුවෙන් හැඳින්වෙන්නේ මේ radio තරංග ගමන්ගන්නා channel එක මිසක අදාල radio තරංග වල අන්තර්ගත වන දත්ත නොවන බව මතක තබාගත යුතු කරුණක් වෙනවා.
Radio වලට අමතරව Fiber optics වලදී මේ Simplex ක්‍රමය සමඟින් එක් දිශාවකට පමණක් දත්ත ගමන් කරන Cable යුගලයක් එකතු කර තනි Cable එකක් නිර්මාණය කරගනු ලබනවා.
අපි transmission එකක් සිදු කරන විට, අදාල මාධ්‍යය හරහා ලබාගතහැකි උපරිම bandwidth එක ඒ සඳහා භාවිතා කළ හැකි වීම මෙහි ඇති වාසියක් ලෙස පෙන්වා දෙන්න පුළුවන්.
මොකක්ද මේ Half Duplex කියන්නේ?
Half Duplex එහෙමත් නැතිනම් Duplex ලෙස හඳුන්වන මේ channel එකේදී අපිට දත්ත යවන්න වගේම ලබාගන්නත් හැකියාව තිබෙන නමුත්, එක් අවස්ථාවකදී සිදු කළ හැක්කේ මේ ක්‍රියාකාරකම් වලින් එකක් පමණයි.
හිතන්න අපි මුලින් කතා කළ Simplex channel එකක් දෙපැත්ත මාරු කර කර භාවිතා කරනවා කියලා. අන්න ඒ වගේ දෙයක් තමයි මේ Duplex කියන channel එකේදී සිද්ධ වෙන්නේ.
[upl-image-preview url=https://community.technews.lk/assets/files/2019-04-13/1555172369-940924-half-duplex-tech-news-lk-community.gif]
ගොඩක් වෙලාවට මේ channel එකට උදාහරණ දක්වන්න භාවිතා කරන සරළම උදාහරණය වන්නේ Walkie-Talkie එකක්. වෝකිටෝකි උපකරණයක talk button එක press කර කතා කළ පසු අනිත් පිරිසට එම පණිවිඩය transmit වේ නමුත් talk button එක press කරගෙන සිටින අවස්ථාවේදී එම වෝකිටෝකි උපකරණයට අනෙකුත් අය පවසන දෑ ග්රරහණය කරගත හැකි නොවේ.
Simplex වලදී මෙන් Cable දෙකක් භාවිතා කිරීමට සිදු නොවීම නිසාවෙන් infrastructure වලට යන වියදම අඩු වීම මෙහි එක් වාසියක් ලෙස පෙන්වාදිය හැකි අතර, Simplex වලදී මෙන්ම මෙහිදීද මුළු bandwidth එකම අදාල transmission එක සඳහා භාවිතා කළ හැකි වෙනවා.
මොකක්ද මේ Full Duplex කියන්නේ?
මේ Full Duplex කියන communication channel එකේදී අපට Duplex channel එකේදී වගේම දත්ත යවන්න හා ලබාගන්න හැකියාව තිබෙනවා වගේම මේ කාර්යයන් දෙකම, එකම අවස්ථාවේදී සිදු කරන්නත් හැකියාව ලැබෙනවා.
[upl-image-preview url=https://community.technews.lk/assets/files/2019-04-13/1555172781-151215-full-duplex-tech-news-lk-community.gif]
උදාහරණයක් ලෙස telephone එකක් ගතහොත්, අපි telephone එකක් භාවිතා කරන විට එකම අවස්ථාවේදී එයට සම්බන්ධ වී සිටින සියළුදෙනාට කථා කළ හැකි වන අතර එසේ කතා කරන සියළු දේ, සම්බන්ධ වී සිටින සියළු දෙනාහටම එම අවස්ථාවේදීම සවන්දීමටද හැකියාව ලැබෙනවා.
මේ වෙනකොට අපි භාවිතා කරන පරිගණක ජාල බොහෝමයක් වල භාවිතා වෙන්නේ මේ Full-Duplex කියන communication channel එකයි.
ඔබට දැන් පැහැදිලි ඇති මොකක්ද මේ concept එක කියන එක. කොහොම වුණත් මේකෙදි මතක තබාගතයුතු දෙයක් තමයි, අපි භාවිතා කරන මෘදුකාංග, එහෙමත් නැතිනම් මේ පද්ධති හරහා ගමන් කරන දත්ත මේ ආකාරයට Simplex, Duplex හෝ Full Duplex ලෙස වර්ග කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ.
මොකද මේ දත්ත ගමන් කරන ආකාරය තමයි ඉහත channel වලින් එකකට අයත් වෙන්නේ. එහෙම නැතිව ඒ දත්ත කිසිම වෙලාවක Simplex, Duplex හෝ Full Duplex විදිහට බෙදා දැක්වීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ.
මේ දින වල ගොඩ දෙනෙක් කතා කරන දෙයක් තමයි Email අයත් වෙන්නේ Duplex වලට ද එහෙමත් නැතිනම් Full Duplex වලටද කියන කාරණය.
ඉතින් දැන් ඔයාට තේරෙනවා ඇති Email කියන්නේ දත්ත/තොරතුරු ටිකක් නිසා, මේ channel වලින් කිසි දේකට මේක අයත් වෙන්නේ නැති බව.
මේ දත්ත ටිකට Simplex වලට අයත් වෙන Fiber optic cable එකක් හරහාත්, Half Duplex භාවිතා වෙන Circuit board එකක් හරහාත්, Full Duplex භාවිතා වන Network එකක් හරහාත් ගමන් කිරීමේ හැකියාව තිබෙන අතර, එය මේ විදිහට බෙදා වෙන් කිරීමට නොහැකි වන බව ඔබට තේරෙනවා ඇති.
මේ ගැන මීට වඩා දේවල් ඔයත් දන්නවා ඇති. ඒ වගේම ඔයාට මේ ගැන ගොඩක් අදහස් වගේම ප්‍රශ්නත් ඇති. ඒ හැම දෙයක්ම ගැනම කතා කරන්න පහළ තිබෙන Reply option එක භාවිතා කරන්න ඔයාට අවස්ථාව තිබෙනවා.